අවසර ගැනීම෴

 අවසර ගැනීම.෴

ස්වකීය දේශනය ආරම්භ කිරීම සඳහා කථිකාසනය වෙත කථිකයා රැස්ව සිටින සභිකයින්ගෙන් දේශනය පැවැත්වීම සඳහා අවසර ඉල්ලා සිටිය යුතුය.මෙය දේශනයක් ආරම්ළ කිරීමේ දී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතයි.සභාවේ සභාපතිවරයෙකු සිටීනම් මුලින්ම ඔහුගෙන් ද පසුව අවශේෂ සභිකයන්ගෙන් ද අවසර ඉල්ලා සිටිනු ලැබේ.මෙම අවසර ඉල්ලා සිටීම දේශනයේ සාර්ථකත්වයට ‌බෙහෙවින්ම බලපාන වැදගත් සංරචකයකි.

    ඔබ ඔබේ දේශනය ඇසීමට රැස්ව සිටින්නන්ගෙන් අවසර ඉල්ලා සිටීම සාර්ථක ව ඉටු කළොත් ඔවුන් ඔබ ‌දේශනය පවත්වන මුළු කාලය පුරාම උනන්දුවෙන‍‍් ඔබට සවන්දෙනු ඇත.එසේ ‌නොමැතිව ඇල්මැරුණු ස්වරූපයකින් ඔබේ අවසර ගැනීම සිදු වූයේ නම් ඔබේ ශ්‍රාවකයින් ද, ඔබට දක්වනු ඇත්තේ එවැනිම ඇල්මැරුණු ප්‍රතිචාරයකි.

    දේශනය ආරම්භ කිරීම කිරීම සඳහා වේදිකාවට නගින කථිකයා මුලින් ම ස්වකීය ශ්‍රාවක පර්ශදය හොඳින් අවලෝකනය කළ යුතුයි.එහි සිටින්නේ කවරාකාර පුද්ගලයන් ද යන්න මනාව නිරීක්ෂණය කළ යුතුය.ශ්‍රාවක සභා‌වේ පූජ්‍ය පක්ෂය සිටී ද,සිටී නම් කවර ආගමකට අයත් පුජ්‍ය පක්ෂය ද,රැස්ව සිටින්නේ ස්ත්‍රී/පුරුෂ දෙපක්ෂයම ද? ඔවුන් කවර වයස් ප්‍රමාණවලට අයත් ද? වැනි කරුණු සභාව අවලෝකනය කිරීමෙන් කථිකයා වහාම අවබෝධ කරගත යුතුය.අනතුරුව හෙතෙම ශාන්ත ස්වරයෙන් ඒ ඒ ශ්‍රාවක කොටස්වලට ගැළපෙන ආමන්ත්‍රණ භාවිත කරමින් එකිනෙකාගෙන් අවසර ලබා ගැනීම ඇරඹිය යුතුය.

    සාමාන්‍යයෙන් මුලින්ම අවසර ගනු ලබන්නෙ පූජ්‍ය පක්ෂයෙනි.පූජ්‍ය පක්ෂයේ උතුමනි යනුවෙන් සඳහන් කරමින් පොදුවේ ඔවුන්ගෙන් අවසර ගැනීමට හෝ ඒ ඒ ආගමට අයත් පූජ්‍ය පක්ෂයෙන් වෙන වෙනම අවසර ගැනීම හෝ කළ හැකිය.

  අවසර ගැනීම ඉතා කෙටි හෝ ඉතා දිගු හෝ නුවුවමනාය.සමහරු සභාවෙන් අවසරයි යන්න පමණක් පැවසීමෙන් කතාව ආරම්භ කරති.එයින් කතාවට කිසිදු උත්කර්ශයක් එකතු නොවේ.අවසර ගැනීම වුවමනාවට වඩා දිගු වීමෙන් ආරම්භයේදීම කතාව අසන්නාට නීරස වේ.

    ඇතැම් කථිකයෝ අවසර ගැනීමට පෙර ස්වකීය මාතෘකාව පූර්විකා වශයෙන් අනවශ්‍ය වැල් වටාරම් රාශියක් සභාව ඉදිරියේ තබති.මේ දීර්ඝ පූර්විකාවෙන් අවසානයේ යළිත් අවසර ලබා ගැනීමට එළඹෙති.

    උදාහරණයක් ලෙස තරුණයා හා රටේ සංවර්ධනය යන මැයෙන් කතාවක් පැවැත්වීමට ගිය එක් කථිකාවක මෙසේ ඇයගේ දේශනය ආරම්භ විය.

‍‍ ‍‍‍‍‍"දේශයක් යනු අරවින්දයක් නම් එහි මකරන්දය තරුණ පෙළයි. සංවර්ධනය නමැති ලා හිරු කිරණ දහරින් ඒ අරවින්දය සුපුෂ්පිත කරවීමේ දී රටක තරුණ ‌පෙළ සතු කාර්ය භාරය කවරක්දැයි වටහා ගැනීම සඳහා 'තරුණයා හා රටේ සංවර්ධනය'යන මැයෙන් මගේ අදහස් බිඳක් ඔබ හමුවේ තැබීමට, ගරු කටයුතු ස්වාමීන්වහන්ස, මෑණිවරුණි පියවරුණි,සහෝදර සහෝදරිනි මටත් මඳකට අවසරයි."

    බැලු බැල්මට ඉතා ආකර්ශණීය යැයි පෙනෙන නමුදු මෙය කිසිසේත් අවසර ලබා ගැනීමට යෝග්‍ය ක්‍රමයක් නොවේ.ඔබට පැවසීමට ඇති කවර තරමේ හෝ රසවත් සාහිත්‍යාත්මක වැකියක් වුව මුලින්ම සභාවෙන් අවසර ලබා ගැනීමෙන් පසුවම පැවසීම උචිතය.

    ඇතැම් කථිකයින් තුළ දක්නට ලැබෙන දුබතකමක් නම් අවසර ගැනීමේ සිට ම අනවශ්‍ය උච්ච ස්වරයකින් හා වේගයකින් ප්‍රකට කිරීමයි.මෙයින් කතාව කෘතිම ස්වරූපයකට පත් වේ.තවමත් කතා ආරම්භ කර නොමැති බැවින් ඔබ තුළ අනවශ්‍ය ආවේගයක් හෝ උච්ච ස්වරයක් හෝ ැවතීමට  නොහැකිය.කථිකයා අවසර ගන්නා ස්වාභාවයෙන් කථිකයාගේ බහුශ්‍රැතභාවය හා පෞර්ෂය ප්‍රකට වේ.



Comments

Popular Posts